ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2024 මැයි

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2024 මැයි මාසයේ දර්ශකාංක 54.5ක් වාර්තා කරමින් ඉදිකිරීම් ක්‍රියකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන ලදී. අප්‍රේල් මාසයේ දීර්ඝ නිවාඩුවලින් අනතුරුව බොහෝ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ දී යථා තත්ත්වයට පත්වන ආකාරයක් දක්නට ලැබුණි. කෙසේ වෙතත් පැවති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන්, ඉදිකිරීම් කටයුතුවල අපේක්ෂිත මට්ටමේ වර්ධනයක් ලඟාකර ගැනීමට නොහැකි වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ ඇතැමෙක් ප්‍රකාශ කළහ.

පෙර මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී නව ඇණවුම් සුළු වශයෙන් ඉහළ ගියේය.  සමීක්ෂණයට සහභාගී වූවන්ට අනුව, දැනට ටෙන්ඩර් කිරීම සඳහා පවතින මහා පරිමාණ ව්‍යාපෘති බොහොමයක් මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති වේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විසින් ඉදිකිරීම් කර්මාන්තය යථා තත්ත්වයට පත්කිරීම සඳහා මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති වැඩි වශයෙන් අවශ්‍ය වන බව අවධාරණය කරන ලදී. මේ අතර, ආයතන තවමත් සේවක බඳවා ගැනීම් පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන බැවින් සේවා නියුක්තිය මැයි මාසයේ දී ද අඩු වේගයකින් වුව ද පහත වැටුණි. තවද, තොග මිලදී ගැනීම් ප්‍රමාණය පෙර මාසයේ පැවති මට්ටමේම පැවතුනි. ඉදිකිරීම් ආශ්‍රිත ද්‍රව්‍යවල මිල ගණන් මැයි මාසය තුළ තවදුරටත් පහත වැටීම කර්මාන්තයට හිතකර බව බොහෝ ප්‍රතිචාර දැක්වූවන් විසින් සඳහන් කරන ලදී. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මැයි මාසය තුළ දී ද ඉහළ අගයක පැවතුනි

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, June 28, 2024