ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2018 ජනවාරි

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017දෙසැම්බර් මාසයේ දී වාර්තා කළ 59.1ක දර්ශක අගයට සාපේක්ෂ ව 2018 ජනවාරි මාසයේ දී 51.7ක දර්ශක අගයක් වාර්තා කළේ ය. ඒ අනුව 2017 වසරේ අවසාන මාස දෙක තුළ දී දක්නට ලැබුණු සෘතුමය ඉහළ යෑමෙන් අනතුරු ව, නිෂ්පාදන අංශයේ කටයුතු 2017 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව ජනවාරි මාසයේ දී අඩු වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කෙරේ. මේ සඳහා, නිෂ්පාදන සහ නව ඇණවුම් උප දර්ශකවල දක්නට ලැබුණු මන්දගාමිත්වය ප්‍රධාන වශයෙන් හේතු විය. තව ද, සේවා නියුක්ති උප දර්ශකය 2017 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව 2018 ජනවාරි මාසයේ දී මන්දගාමී වූ අතර ගැනුම් තොග උප දර්ශකය පහත වැටීමක් පෙන්නුම් කරයි. මේ අතරතුර දී, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් ඉහළ ගියේ ය. තව ද, ගැනුම් තොග උප දර්ශකය හැර සෙසු සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලද අතර ඒ අනුව 2018 ජනවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සමස්තයක් ලෙස වර්ධනයක් පිළිබිඹු කළේ ය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.

සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ 61.2ක දර්ශක අගයට සාපේක්ෂ ව 2018 ජනවාරි මාසයේ දී 56.6ක දර්ශක අගයක් වාර්තා කළේ ය. නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම්, නිම කිරීමට ඇති කාර්යයන් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම් යන උප දර්ශකවල දායකත්වයෙන් 2018 ජනවාරි මාසයේ දී සේවා අංශය අඩු වේගයකින් වුව ද වර්ධනය වූ බව මෙ මගින් පෙන්නුම් කෙරෙයි. සේවා නියුක්තිය 2018 ජනවාරි මාසයේ දී පහළ ගිය අතර එය නිම කිරීමට ඇති කාර්යයන්හි අඛණ්ඩ ව දෙවන වරටත් සිදු වූ වර්ධනයට යම් දායක්ත්වයක් සැපයී ය. වසර ආරම්භයේ දී නව ව්‍යාපාර සහ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරන ලද්දේ එය 2017 දෙසැම්බර් මාසයේ ඉහළ ක්‍රියාකාරී මට්ටම සමඟ සැසඳීම හේතුවෙන් විය හැක. සේවා සැපයීමේ මංපෙත්වල වර්ධනය හේතුවෙන් ප්‍රධාන වශයෙන් මූල්‍ය අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල වර්ධනයක් දක්නට ලැබුණි. විශ්‍රාමික සහ සේවය හැර ගිය සේවකයින් වෙනුවෙන් ඇති වූ ඇබෑර්තු සඳහා බඳවා ගැනීම් සිදු නො කිරීම හේතුවෙන් ප්‍රධාන වශයෙන් මූල්‍ය, සෞඛ්‍ය සහ දේපල වෙළෙඳාම් අංශවල සේවා නියුක්තිය පහළ ගියේ ය. සාමූහික වැටුප් ගිවිසුම් ද ඇතුළත් ව 2018 වසරේ නියමිත වැටුප් වර්ධන හේතුවෙන් අපේක්ෂිත ශ්‍රම පිරිවැය ඉහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, February 15, 2018