ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) - 2024 අප්‍රේල්

පසුගිය වසරවල අලුත් අවුරුදු සමයේ පැවති රටාවට අනුගතව බොහෝ අංශවල ක්‍රියාකාරකම් මන්දගාමීවීම තුළ, ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ද අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 31.9ක් දක්වා පහත වැටීමක් වාර්තා කරන ලදී. මෙමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම් පසුගිය මාසයට සාපේක්ෂව පහත වැටීමක් පෙන්නුම් කරයි. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කළ පරිදි, දීර්ඝ අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් බොහෝ ඉදිකිරීම් වැඩබිම් මෙම මාසය තුළ තාවකාලිකව වසා දැමීම මෙම පසුබැසීමට හේතු වී ඇත. 

නව ඇණවුම් පහත වැටීම සඳහා අප්‍රේල් මාසයේ වැඩ කරන දින ප්‍රමාණය අඩු වීම හේතු විය.  කෙසේ වෙතත්, බොහෝ ප්‍රතිචාර දැක්වූවන්ගේ මතය වූයේ ටෙන්ඩර් අවස්ථා ක්‍රමයෙන් වැඩිවන ප්‍රවණතාවය ඉදිරි මාසවලදී ද පවතිනු ඇති බවයි. තවද, වෙළඳපොළ තුළ පවතින ඉහළ තරගකාරීත්වය පිළිබඳව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී. සමස්ත ක්‍රියාකාරකම් සහ නව ඇණවුම් පහත වැටීම හා සමගාමීව, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් මෙම මාසය තුළ දී පහළ යන ලදී. තවද, මිල මට්ටම්වල පහත වැටීමේ ප්‍රවණතාවය අප්‍රේල් මාසය තුළ දී ද පෙන්නුම් කරයි. මේ අතර, මෙම මාසය තුළ දී ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පෙර මාසයට සාපේක්ෂව අඩු වේගයකින් ඉහළ යන ලදී.

එළඹෙන මාස තුන තුළ ඉදිකිරීම් කටයුතු සඳහා වන ඉදිරි දැක්ම යහපත් වන අතර, මෙයට ප්‍රධාන වශයෙන් නව ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ඇති ඉහළ අපේක්ෂා හේතු විය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, May 31, 2024