ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) - ජූලි 2023

ඉදිකිරීම් කටයුතුවල පවතින දුර්වල ක්‍රියාකාරීත්වය තුළ 2023 ජූලි මාසය තුළදී ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 43.2ක අගයක් වාර්තා කරන ලදී. මෙහිදී, පවතින අභියෝගාත්මක වාතාවරණය හමුවේ බොහෝ සමාගම් සිය ව්‍යාපාරික පැවැත්ම ආරක්ෂාකරගැනීම සඳහා උත්සාහ ගනිමින් සිටින බව සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී. කෙසේ වුවද, ක්‍රමයෙන් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල පහත වැටීම, සීමිත මට්ටමින් වුවද ක්‍රියාත්මකවන ඉදිකිරීම් සඳහා රුකුලක් වී ඇත. තවද, තාවකාලික වශයෙන් අත්හිටුවා තිබූ රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ව්‍යපෘති කිහිපයක් ද ජූලි මාසය තුළදී සුළු වශයෙන් වුවද නැවත ආරම්භ කර ඇත.

පසුගිය මාසයට සාපේක්ෂව අඩු මට්ටමෙන් වුවද නව ඇණවුම් ජූලි මාසය තුළදී ද පහත වැටුණි. මෙහිදී, ටෙන්ඩර් අවස්ථා බොහෝදුරට විදේශ අරමුදල් සහිත ව්‍යාපෘති කිහිපයකට සිමා වී ඇති අතර, පෞද්ගලික සේවාදායකයින් ද ඉදිකිරීම් වියදම් තවදුරටත් පහළ යන තෙක් ආයෝජන පමාකරන බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී. එසේම, දැනට ව්‍යපෘතිවල නිරතව සිටින සමාගම් සතු අතිරික්ත ධාරිතාවය හේතුවෙන් අනෙකුත් සමාගම්වලට උපකොන්ත්‍රාත් ලබාදීම ද සිමා වී ඇත. මේ අතරතුර, සමාගම් විසින් තමාට අත්‍යවශ්‍ය සේවකයින් පමණක් රඳවා ගැනීමට කටයුතු කරන බැවින් සේවා නියුක්තිය ද ජූලි මාසය තුළදී පහත වැටුණි. තවද, බොහෝ සමාගම් ආයෝජන පමාකරන වාතාවරණය තුළ කෙටිකාලීන අවශ්‍යතා සඳහා පමණක් සීමිතව මිලදී ගැනීම් සිදු කිරීම හේතුවෙන් තොග මිලදී ගැනුම් ද ජූලි මාසය තුළදී පහත වැටුණි. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ස්ථාවර මට්ටමක පැවතුනු අතර සමහර සැපයුම්කරුවන් නැවතත් ණයට භාණ්ඩ සැපයීමට ද නැඹුරුවක් දක්වන බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී.

ප්‍රධාන වශයෙන් ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කිරීම, පොලි අනුපාතික සහ අමුද්‍රව්‍ය සඳහා වියදම් පහත වැටීම සහ දැනට අත්හිටුවා ඇති රජයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා පවතින සාකච්ඡා හේතුවෙන් සමාගම්වල ඉදිරි මාස තුන පිළිබඳ ව්‍යාපාර අපේක්ෂා යහපත් මට්ටමක පැවතුණි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, August 31, 2023