මුදල් ප්‍රතිපත්තිය

 

සමස්ත විග්‍රහය

මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායිතාව යන සාර්ව ආර්ථික අරමුණ ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් ආර්ථිකයක් තුළ මුදලේ පිරිවැය සහ මුදල් සැපයුම කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය යි.

ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම දරන ආයතනය වන අතර, ප්‍රධාන වශයෙන් ආර්ථිකයේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය කිරීම සහ ද්‍රවශීලතාව කළමනාකරණය කිරීම මහ බැංකුව විසින් සිදු කරනු ලැබේ. ආර්ථිකයේ පවත්නා පොලී අනුපාතික මත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මෙහෙයුම් කටයුතු බලපෑම් කරනු ලබන අතර ම, එය ණයගැතියන් හා  ණයහිමියන්ගේ හැසිරීම, ආර්ථික ක්‍රියාකාරකම් සහ අවසාන වශයෙන් උද්ධමන අනුපාතිකය මත බලපෑම් ඇති කරනු ලබයි. ඒ අනුව, උද්ධමනය පාලනය කිරීම සහ උද්ධමනය අපේක්ෂිත මට්ටමක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය භාවිත කරනු ලැබේ.

2023 සැප්තැම්බර් 15 දින සිට බලපැවැත්වෙන පරිදි 1949 අංක 58 දරන මුදල් නීති පනත අවලංගු කරන ලද, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා නව මහ බැංකු පනත බලාත්මක කිරීමත් සමඟ මුදල් ප්‍රතිපත්ති තීරණ ගනු ලබන්නේ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මගිනි. දේශීය මිල ස්ථායීතාව පවත්වා ගැනීමේ ප්‍රධාන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා නම්‍යශීලී උද්ධමන ඉලක්ක රාමුවට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති සැකසීම සහ නම්‍යශීලී විනිමය අනුපාත පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයට පැවරී ඇත.

මිල ස්ථායිතාව

මිල ස්ථායිතාව යනු ආර්ථිකයේ සාමාන්‍ය මිල මට්ටමේ පුළුල් උච්චාවචනයන් නොමැති තත්ත්වයක් වන අතර එය තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට උපකාරී වේ. මිල ගණන් අඩු අනුපාතයකින් උච්චාවචනය වන විට, ආර්ථිකයේ නියෝජිතයින්ගේ ආර්ථික තීරණ කෙරෙහි ඉන් සැලකිය යුතු බලපෑමක් ඇති නොකෙරෙනු ඇත, එනම්, කුටුම්භ සහ ව්‍යාපාර ආයතන වේ. තව ද, මිල ස්ථායිතාව මහජනයා අතර උද්ධමන අපේක්ෂාවන් වඩා හොඳින් පාලනය කිරීමට  උපකාරී වන අතර, එමගින් සැබෑ උද්ධමනය අවම සහ ස්ථාවර මට්ටමක තබා ගැනීම පහසු කරවයි. එබැවින්, ස්ථාවර මිල ගණන් නිෂ්පාදනය කළ යුත්තේ කුමක්ද සහ නිෂ්පාදනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ආර්ථික තීරණ විකෘති නොකරනු ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකයේ සම්පත් කාර්යක්ෂම ව බෙදා හැරීමට හැකි වන අතර එමගින් දිගු කාලීනව ආර්ථික ස්ථායිතාව සහ ආර්ථිකයේ තිරසර වර්ධනයට එය හේතුසාධක වේ. ඒ අනුව, මහ බැංකු පනතට අනුව, මහ බැංකුව, දේශීය මිල ස්ථායිතාව සාක්ෂාත් කර ගැනීම සහ පවත්වාගෙන යෑමේ මූලික පරමාර්ථය ඉටු කරගැනීමේ දී, වෙනත් කරුණු අතර, එහි විභව මට්ටමට නිමැවුම ස්ථාවර කිරීම ද සැලකිල්ලට ගත යුතු ය.

මුදල් ප්‍රතිපත්ති රාමුව

ශ්‍රී ලංකා මහ බැංකුව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ (Flexible Inflation Targeting) රාමුවකට අනුකූල ව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන අතර, ආර්ථික වර්ධනයට එහි විභව මට්ටම කරා ළඟා වීමට සහාය වන අතර ම උද්ධමනය මැදිකාලීන ව සියයට 5ක ඉලක්ක අනුපාතික මට්ටමේ පවත්වා ගැනීමට අරමුණු කර ගනී. මෙම මුදල් ප්‍රතිපත්ති රාමුවෙහි මෙහෙයුම් ක්‍රියාවලිය සැලකූ විට, කෙටිකාලීන පොලී අනුපාතික මෙහෙයවීම සඳහා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති උපකරණ භාවිත කරනු ලබන අතර, විශේෂයෙන් ම මෙහෙයුම් ඉලක්කය ලෙස බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (Average Weighted Call Money Rate) යොදා ගනී.

මෙම මුදල් ප්‍රතිපත්ති රාමුව භාවිත කිරීමට පෙර, ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ඉලක්කකරණය සහ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය යන ක්‍රමවේද දෙකෙහි ම ලක්ෂණවලින් සමන්විත වැඩිදියුණු කරන ලද මුදල් ප්‍රතිපත්ති රාමුවක්  මත පදනම් ව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ ය. එම වැඩිදියුණු කරන ලද මුදල් ප්‍රතිපත්ති රාමුව යටතේ, උද්ධමනය මැදිකාලීන ව මැදි තනි අගයක ස්ථායී ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව උත්සාහ දරන අතර ම, ආර්ථිකයේ වර්ධන ප්‍රවණතාව පවත්වා ගැනීමට සහ විනිමය අනුපාතික කළමනාකරණය නම්‍යශීලී ව පවත්වා ගැනීම සඳහා සහාය විය. වර්තමානයේ දී මෙන්, මෙහෙයුම් ඉලක්කය ලෙස  බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය භාවිත කරන ලදී.

1980 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති රාමුව ලෙස මුදල් ඉලක්කරණය භාවිතයට ගනු ලැබූ අතර, මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන නාමික විචල්‍ය ලෙස මුදල් සමස්ත යොදා ගනු ලැබිණ. මුදල් ඉලක්කකරණ රාමුව යටතේ මිල ස්ථායිතාව සඳහා බලපානු ලබන ප්‍රධාන සාධකය ලෙස මුදල් සැපයුමේ වෙනස්වීම් සලකන ලදි. කෙසේ වෙතත්, මුදල් සැපයුම සහ උද්ධමනය අතර පවතින දුර්වල සම්බන්ධතාවයක් මධ්‍යයේ මුදල් ගුණකයේ සහ ප්‍රවේගයේ ඉහළ යන අස්ථාවරත්වය සැලකිල්ලට ගෙන, නාමික පාලනයක් ලෙස මුදල් ඉලක්කවල කාර්යභාරය අවිනිශ්චිත වූ අතර මහ බැංකුවේ සන්නිවේදන උපායමාර්ගය ද සංකීර්ණ වූ බැවින්, මහ බැංකුවට සිය මුදල් ප්‍රතිපත්ති රාමුව ඉහළ නැංවීමට සිදු විය.

උද්ධමනය අපේක්ෂිත‍ මට්ටමේ පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, එනම්, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (Standing Deposit Facility Rate) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (Standing Lending Facility Rate) යන පොලී අනුපාතිකවලින් සමන්විත වූ  පොලී අනුපාතික කොරිඩෝව තුළ විවට වෙළෙඳපොළ කටයුතු සිදු කරනු ලබයි. උද්ධමනය අපේක්ෂිත මට්ටමේ පවත්වා ගැනීමේ අරමුණින් ආර්ථිකයේ පොලී අනුපාතික ව්‍යුහය හැසිරවීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතික අවශ්‍ය පරිදි වරින් වර සමාලෝචනය කිරීම සහ වෙනස් කිරීම සිදු කරනු ලැබේ.

 

මුදල් ප්‍රතිපත්තිය - නිතර අසනු ලබන ප්‍රශ්න