මුදල් ප්‍රතිපත්ති කමිටු

 

මුදල් ප්‍රතිපත්ති කමිටුව

මුදල් නීති පනතේ සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක් වන්නේ රටේ මුදල් ප්‍රතිපත්තිය නිර්ණය කිරීමත්, ක්‍රියාත්මක කිරීමත් ය. මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සහ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් වසර ගණනාවක් මුළුල්ලේ ආර්ථිකය සහ විශේෂයෙන්ම, මූල්‍ය අංශය නවීකරණයට සහ සංවර්ධනයට ලක්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, මුදල් ප්‍රතිපත්තිය තීරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි කාර්යභාරය ද වඩාත් සංකීර්ණ වී ඇත. එබැවින්, මුදල්  ප්‍රතිපත්ති විශ්ලේෂණය සහ සම්පාදනය ශක්තිමත් කිරීම සඳහා වන මහ බැංකු ප්‍රයත්නයේ කොටසක් ලෙස සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩිදියුණු කිරීමේ පියවරක් වශයෙන් 2001 වසර මුල දී විධිමත් මුදල් ප්‍රතිපත්ති කමිටුවක් පිහිටුවන ලදී.

වර්තමානයේ දී, මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සභාපතිත්වය අධිපතිවරයා  විසින් දරනු  ලබන අතර, ඒ අනුව කමිටුව පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විත වේ:

සභාපති

අධිපති

සාමාජිකයන්

    • සියලුම නියෝජ්‍ය අධිපතිවරු
    • ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාන, දේශීය මෙහෙයුම් කටයුතු, ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු සහ  බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තු පිළිබඳ වගකීම දරන සහකාර අධිපති/අධිපතිවරු
    • අධ්‍යක්ෂ - ආර්ථික පර්යේෂණ
    • අධ්‍යක්ෂ - දේශීය මෙහෙයුම් කටයුතු
    • අධ්‍යක්ෂ - ජාත්‍යන්තර කටයුතු
    • මුදල් සහ බැංකු කටයුතු අධීක්ෂණය පිළිබඳ වගකීම දරනු ලබන අතිරේක අධ්‍යක්ෂ - ආර්ථික පර්යේෂණ

මුදල් ප්‍රතිපත්ති කමිටුවේ ලේකම්

    • මුදල් ප්‍රතිපත්තිය අධීක්ෂණය පිළිබඳ වගකීම දරන නියෝජ්‍ය අධ්‍යක්ෂ - ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව (විකල්ප ලේකම් : අංශ ප්‍රධානී - මුදල් සහ බැංකු කටයුතු)

නැගී එන ආර්ථික වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථන ඇගයීම සහ දේශීය මිල ස්ථායිතාව සහතික කිරීමේ මහ බැංකුවේ මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සලකා බැලීම සඳහා මුදල් ප්‍රතිපත්තියේ සුදුසු අනාගත දිශාවන් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම මුදල් ප්‍රතිපත්ති කමිටුවෙහි මූලික කාර්යය වේ.

මුදල් ප්‍රතිපත්ති කමිටුව, විධිමත් කාල පරතරයකින් යුතුව (වර්තමානයේ දී වසරකට සය වතාවක්) රැස්වේ. මෙම රැස්වීම්වල දී, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සැකසීම සඳහා මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සාකච්ඡා සඳහා පාදක වන මුදල්, විදේශ විනිමය වෙළෙඳපොළ සහ මිල ප්‍රවණතා පිළිබඳ ව මෙන් ම, රාජ්‍ය මූල්‍ය අංශය, විදේශ අංශය හා මූර්ත අංශයේ වර්ධනයන් පිළිබඳව ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ වෙනත් දෙපාර්තමේන්තු විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සාමාජිකයන් විසින් සලකා බලනු ලැබේ. වර්තමානයේ දී ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලබන තාක්ෂණික විශ්ලේෂණ, විශේෂයෙන් ම, උද්ධමනය ඇතුළු සාර්ව ආර්ථික පුරෝකථන සහිතව ආර්ථිකය හා මුදල් අංශය පිළිබඳ සිදු කරනු ලබන පුළුල් විග්‍රහයක් මත පදනම් වේ.

පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව (SEC)

ශ්‍රී ලංකා මහ බැංකුව තුළ පෙර ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරමින් 2022 වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ස්ථාපිත කර ඇත. ප්‍රවීණ වෘත්තිකයන්, විද්වතුන් සහ පෞද්ගලික අංශයේ ප්‍රවීණයන් ඇතුළු විවිධ අංශවල පාර්ශ්වකරුවන්ගෙන් මෙම කමිටුව සමන්විත වන අතර ඔවුන්ගේ විශේෂඥ දැනුම සහ පළපුරුද්ද තුළින් මහ බැංකුවේ ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලියට ප්‍රතිලාභ ලැබෙනු ඇත.