මුදල් ප්‍රතිපත්ති උපකරණ සහ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

 

මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගත හැකි උපකරණ ගණනාවක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතී. වර්තමානයේ දී මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වැඩි වශයෙන් වෙළෙඳපොළ පදනම් කරගත් ප්‍රතිපත්තිමය උපකරණ උපයෝගී කර ගනිමින් සිදු වේ. ඒ අනුව, වර්තමානයේ දී ප්‍රධාන වශයෙන් භාවිතයට ගනු ලබන මුදල් ප්‍රතිපත්ති උපකරණ ලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතික, විවට වෙළෙඳපොළ කටයුතු සහ වාණිජ බැංකු වෙතැති තැන්පතු වගකීම් මත පනවනු ලබන  ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව දැක්විය හැකි ය.

 

ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ විවට වෙළඳපොළ කටයුතු

වර්තමානයේ දී,  ශ්‍රී ලංකා මහ බැංකුව සක්‍රීය විවට වළෛඳපොළ කටයුතු ක්‍රමය (Active Open Market Operations) යටතේ සිය මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි. මෙම ක්‍රමයේ ප්‍රධාන අංග වනුයේ: (i) නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (Standing Deposit Facility Rate) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (Standing Lending Facility Rate) යන ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික මගින් සැකසුණු පොලී අනුපාතික කොරිඩෝව සහ (ii) විවට වෙළෙඳපොළ කටයුතු වේ.

  1. උද්ධමනය අපේක්ෂිත මට්ටමක පවත්වා ගැනීම සඳහා යොදා ගනු ලබන ප්‍රධාන උපකරණ වනුයේ, මුදල් වෙළෙඳපොළ තුළ එක් දින පොලී අනුපාතිකවල ඉහළ සහ පහළ සීමා නිර්ණය කරනු ලබන මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යි. මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබඳව සංඥා නිකුත් කරනු ලබන ප්‍රධාන යාන්ත්‍රණය වන මෙම අනුපාතික නිත්‍ය පදනමක් මහ බැංකුව විසින් සමාලෝචනය කරනු ලබන අතර, අවශ්‍ය වන්නේ නම් එම අනුපාතික සංශෝධනය කරනු ලැබේ.
  2. දෛනික වෙන්දේසියේ දී සිය ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වූ මූල්‍ය ආයතන සඳහා නිත්‍ය පහසුකම් සපයනු ලැබේ. එනම්, විවිට වෙළෙඳපොළ ගනුදෙනු වෙන්දේසියට පසුව ද කිසියම් සහභාගිවන්නෙකු සතුව අතිරික්ත මුදල් ඇති විටෙක නිත්‍ය තැන්පතු පහසුකම යටතේ එම අතිරික්ත මුදල් තැන්පත් කළ හැකි ය. එසේ ම, යම් සහභාගිවන්නෙකුට අරමුදල් හිඟයක් පියවා ගැනීමට ද්‍රවශීලතාව අවශ්‍ය විටෙක,  නිත්‍ය ණය පහසුකම යටතේ ප්‍රතිවිකුණුම් පදනම මත මුදල් ණයට  ලබා ගත හැකි ය. ඒ අනුව, මෙම පහසුකම් එක්දින පොලී අනුපාතිකවල විශාල විචලනයන් වළක්වා ගැනීම සඳහා උපකාරී වේ.
  3. වෙළෙඳපොළ අතිරික්ත ද්‍රවශීලතාවක් පවතින විට අතිරික්ත ද්‍රවශීලතාව අවශෝෂණය කර ගැනීමට හෝ ද්‍රවශීලතා හිඟයක් පවතින විට ද්‍රවශීලතාව සැපයීම සඳහා සහ එමගින් එක්දින පොලී අනුපාතික ස්ථාවර ව පවත්වා ගෙන යෑම සඳහා විවට වෙළෙඳපොළ කටයුතු පවත්වනු ලැබේ. විවට වෙළෙඳපොළ කටයුතු රජයේ සුරැකුම්පත් ස්ථාවර හෝ තාවකාලික පදනම යටතේ මිලදී ගැනීමේ/විකිණීමේ වෙන්දේසි හරහා සිදු කරනු ලැබේ. (විවට වෙළෙඳපොළ කටයුතු පිළිබඳ වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.) මෙම වෙන්දේසිය බහු ලංසු සහ බහු මිල ක්‍රමයක් යටතේ පැවැත්වේ. මුදල් වෙළෙඳපොළ සහභාගිවන්නන් සඳහා එක් කෙටිකාලීන වෙන්දේසියක් සඳහා ලංසු තුනක් දක්වා ද, එක් දිගුකාලීන වෙන්දේසියක් සඳහා ලංසු හයක් දක්වා ද ඉදිරිපත් කළ හැකි අතර, සාර්ථක වන ලංසු තබන්නන්ට ඔවුන් විසින් ඉදිරිපත් කළ ලංසුවේ සඳහන් අනුපාතික යටතේ ඔවුන්ගේ ඉල්ලීම ලැබෙනු ඇත.මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර ද්‍රවශීලතාව පුරෝකථනය කිරීමයි. (විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න)

ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (Statutory Reserve Ratio) යනු බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිය තැන්පතු වගකීම්වලින් කිසියම් ප්‍රතිශතයක් මුදල් තැන්පතුවක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙහි පවත්වාගෙන යා යුතු ප්‍රමාණයයි. මහ බැංකු පනත යටතේ, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිශ්චය කරනු ලබන ප්‍රමාණයක සංචිතයක් මහ බැංකුවෙහි පවත්වාගෙන යා යුතු වේ. වර්තමානයේ දී ශ්‍රී ලංකා රුපියල්වලින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල පවත්වා ගනු ලබන ඉල්ලුම්, කාලීන හා ඉතුරුම් තැන්පතු ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවට යටත් වේ.

මුදල් සැපයුම කෙරෙහි බලපෑම් කිරීම සඳහා අතීතයේ දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය  බහුල වශයෙන් යොදා ගන්නා ලදී. කෙසේ වෙතත්, වෙළෙඳපොළ පදනම් කරගත් මුදල් ප්‍රතිපත්තියට වැඩි වශයෙන් නැඹුරු වීමත් සමඟ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා කෙරෙහි යොමු වීම ක්‍රමානුකූල ව අඩු වී ඇති අතර, එම නිසා ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා පැනවීම හේතුවෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් දැරිය යුතු වක්‍රාකාර පිරිවැය ද අඩු වේ. ඒ අනුව, වෙළෙඳපොළ තුළ අඛණ්ඩ ව පවත්නා ද්‍රවශීලතා ගැටලු විසඳීම සඳහා  වර්තමානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය භාවිත කරයි. (ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න.)

වෙනත් මුදල් ප්‍රතිපත්ති උපකරණ

මෙම උපකරණවලට අමතර ව, ආර්ථිකයේ අවශ්‍යතා සහ ස්වභාවය මත පදනම්ව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ණය මත ප්‍රමාණාත්මක සීමාකිරීම්, පොලී අනුපාතික මත ඉහළ සීමා පැනවීම්, ශිෂ්ට ප්‍රයෝග මෙන් ම, සන්නිවේදනය සහ ඉදිරි මාර්ගෝපදේශ ද භාවිතා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව ඇත.