මුල්‍ය ලැබීම් ඉහළ යාම හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ දී දළ නිල සංචිත ඉහළ ගිය අතර, අඛණ්ඩව තුන්වන වරටත් මෙම මාසයේ දී ද වෙළඳ භාණ්ඩ අපනයන එ.ජ. ඩොලර් බිලියන 1.0 ඉක්මවිය. කෙසේ වෙතත්, භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ යාමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම ඉහළ යාම හේතුවෙන් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව වෙළඳ හිඟය පුළුල් විය. 2021 වසරේ අගෝස්තු මාසයේ දී සංචාරක පැමිණීම් පෙර මාසයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් යම් වැඩිවීමක් පෙන්නුම් කළ අතර, මුළු සංචාරක පැමිණීම් සංඛ්‍යාව අඩු මට්ටමක පැවතුණි. 2021 වසරේ අගෝස්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල අඩු වීමක් පිළිබිඹු විය. 2021 වසරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ.අ.) විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) වෙන්කිරීම් යටතේ ශ්‍රී ලංකාවට අදාළ කොටස අගෝස්තු මාසයේ දී ලැබුණි. තවද, 2021 වසරේ අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සහ බංගලාදේශ බැංකුව අතර ඇති කර ගත් ද්වීපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ මූලික අදියරේ විනිමය හුවමාරු වීම සිදු විය.















