ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2016

ශ්‍රී ලංකා මහ බැංකුවේ  වාර්ෂික ප්‍රකාශනයක් වන 'ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2016' පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනයේ දළ දේශීය නිෂ්පාදිතය, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය බැංකු, බැංකු සහ මූල්‍ය ආයතන, මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය හා විදුලි සංදේශ සේවා, ජනගහනය සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන් ම අනෙකුත් රටවල තෝරා ගත් ආර්ථික සහ සමාජ දර්ශක ද ඇතුළත් වේ. ඊට අමතර ව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද ආදායම් හා වියදම් පිළිබඳ සමීක්ෂණයෙන් සොයා ගත් ශ්‍රී ලංකාවේ ජීවන තත්ත්වය, දරිද්‍රතාව සහ කුටුම්භ ලක්ෂණවලට අදාළ තොරතුරු ද මෙහි ඇතුළත් කර ඇත. තව ද, මූලික ආර්ථික විචල්‍යයන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද පළාත් මට්ටමින් මෙම ප්‍රකාශනයේ ඇතුළත් වේ. දත්ත විශ්ලේෂණය කරන්නන්ගේ විවිධ අවශ්‍යතාවලට ගැලපෙන අන්දමින් විවිධ අනුඛණ්ඩ යටතේ කාලශ්‍රේණි/හරස් අංශ දත්ත වශයෙන් මෙම ප්‍රකාශනයේ ඉදිරිපත් කර ඇත. ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා හැදෑරීමට උපකාරී වන තොරතුරු රාශියක් මෙහි අඩංගු වී ඇති අතර මෙම ප්‍රකාශනය ව්‍යවසායකයින්ට, ප්‍රතිපත්ති සම්පාදකයින්ට, පර්යේෂකයින්ට, ගුරුවරුන්ට, ශිෂ්‍යයින්ට සහ මහජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. 

මෙම ප්‍රකාශනය චැතැම් වීදියේ 'The Central Point' ගොඩනැගිල්ල, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ බැංකු විදු පියෙස, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර, මාතලේ, නුවරඑළිය, යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය සහ අනුරාධපුරයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලවලින් සහ දිවයිනේ ප්‍රධාන පොත්හල්වලින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම මිල දී ගත හැක. එ සේ ම ඉහත සඳහන් කරන ලද ස්ථානවලින් මෙම ප්‍රකාශනයේ විද්‍යුත් පිටපත් ඇතුළත් සංයුක්ත තැටි මිල දී ගත හැක. ඊට අමතර ව, මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය වන http://www.cbsl.gov.lk යන අන්තර්ජාල සම්බන්ධතාව ඔස්සේ භාෂා තුනෙන් ම ලබා ගත හැක. 

 

Published Date: 

Thursday, August 11, 2016