2026 වසරේ අගෝස්තු මාසයේ දී වාර්තා වූ අතිරික්තයෙන් අනතුරුව, විදේශීය ජංගම ගිණුම 2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 128ක හිඟයක් වාර්තා කළේය. කෙසේ වෙතත්, ප්රාථමික ආදායම් ගිණුමේ හිඟය ඉහළ යෑමේ සහ සේවා ගිණුමේ අතිරික්තය අඩු වීමේ බලපෑම ඉක්මවා වෙළඳ හිඟය අඩු වීම සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණ ඉහළ යෑම හේතුවෙන්, මෙම ජංගම ගිණුමේ හිඟය 2025 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව අඩු විය. 2026 වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ එ.ජ. ඩොලර් මිලියන 420ක සමුච්චිත හිඟයක් වාර්තා විය.
ආනයන වියදම්වල ඉහළ යෑම ඉක්මවා අපනයන ඉපැයීම්වල ඉහළ යෑම හේතුවෙන්, 2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2025 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව අඩු විය. කෙසේ වෙතත්, 2026 වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ දී සමුච්චිත වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 5.2ට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියන 7.9ක් දක්වා පුළුල් විය.
2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 1,377ක් දක්වා වාර්ෂික ලක්ෂ්යමය පදනම මත සියයට 21.0කින් ඉහළ ගිය අතර, මෙය මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අපනයන ඉපැයීම වේ. ඒ අනුව, මෙම අගය මෙයට පෙර ඉහළ ම අගය වන 2025 වසරේ ජූලි මාසයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 1,302 ඉක්මවා යෑමකි.
මේ අතර, 2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ආනයන වියදම සියයට 2.9කින් (වාර්ෂික ලක්ෂ්යමය පදනම මත) ඉහළ ගිය අතර, එය එ.ජ. ඩොලර් මිලියන 2,109ක් ලෙස වාර්තා විය.
2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී මාසික ඉන්ධන ආනයන වියදම මාසික ලක්ෂ්යමය පදනම මත අඛණ්ඩව පස්වන මාසයටත් පහළ ගියේය. කෙසේ වෙතත්, 2026 වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ දී සමුච්චිත ඉන්ධන ආනයන වියදම ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 4.5ක් දක්වා වාර්ෂික ලක්ෂ්යමය පදනම මත සියයට 51.5කින් ඉහළ ගියේය.
පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදාගන්නා වාහන යන දෙවර්ගය ම ඇතුළුව මෝටර් රථ ආනයනය සඳහා වූ වියදම 2026 වසරේ සැප්තැම්බර් මාසය තුළ දී එ.ජ. ඩොලර් මිලියන 188ක් වූ අතර, එය 2025 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 34.4ක අඩු වීමකි. මේ අතර, 2026 වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලපරිච්ඡේදය සඳහා වාහන ආනයන මුළු වියදම එ.ජ. ඩොලර් මිලියන 1,871ක් විය.
අපනයන මිල ගණන් ඉහළ යෑම ඉක්මවා ආනයන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන්, 2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළඳ මිල අනුපාතය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත පහළ ගියේය. 2026 වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ ද වෙළඳ මිල අනුපාතය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව පහළ ගියේය.
සේවා ආශ්රිත ලැබීම්වල වර්ධනය ඉක්මවා, විශේෂයෙන් ම විදේශ සංචාර සහ ගුවන් ප්රවාහන ආශ්රිත ගෙවීම් ඇතුළු සේවා ආශ්රිත ගෙවීම් ඉහළ යෑම හේතුවෙන්, 2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී සේවා ගිණුමේ අතිරික්තය එ.ජ. ඩොලර් මිලියන 119ක් දක්වා වාර්ෂික ලක්ෂ්යමය පදනම මත සියයට 34.3කින් අඩු විය. මාසික සේවා ගිණුම් අතිරික්තයේ මෙම අඛණ්ඩ අඩුවීමත් සමඟ, 2026 වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ දී සමුච්චිත සේවා ගිණුම් අතිරික්තය එ.ජ. ඩොලර් බිලියන 2.2ක් දක්වා වාර්ෂික ලක්ෂ්යමය පදනම මත සියයට 22.3කින් අඩු විය.
සංචාරක පැමිණීම් 2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී වාර්ෂික ලක්ෂ්යමය පදනම මත සියයට 0.3කින් සුළු වශයෙන් පහළ ගිය අතර, 2026 වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ දී සමස්ත සංචාරක පැමිණීම් 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 1.8කින් අඩු විය. මේ අතර, 2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 186ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති අතර, එය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත සියයට 1.5ක වර්ධනයකි. 2026 වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ දී සමුච්චිත සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් බිලියන 2.2ක් දක්වා වාර්ෂික ලක්ෂ්යමය පදනම මත සියයට 9.2කින් පහළ ගියේය.
ප්රධාන වශයෙන් සෘජු ආයෝජන මත ලාභාංශ ගෙවීම් ඉහළ යෑම හේතුවෙන්, ප්රාථමික ආදායම් ගිණුමේ හිඟය 2025 වසරේ සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 152ක සිට 2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 241ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, 2026 වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ දී ප්රාථමික ආදායම් ගිණුමේ සමුච්චිත හිඟය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අඩු මට්ටමක පැවතුණි.
2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණ එ.ජ. ඩොලර් මිලියන 734ක් දක්වා වාර්ෂික ලක්ෂ්යමය පදනම මත සියයට 5.6කින් ඉහළ ගියේය. ඒ අනුව, 2026 වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ දී සමුච්චිත ප්රේෂණ එ.ජ. ඩොලර් බිලියන 6.9ක් දක්වා වාර්ෂික ලක්ෂ්යමය පදනම මත සියයට 18.1කින් ඉහළ ගියේය.
2026 වසරේ සැප්තැම්බර් මාසයේ දී රාජ්ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 39.9ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර, ප්රාථමික සහ ද්විතීයික වෙළඳපොළ ගනුදෙනු ඇතුළත් කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ද එ.ජ. ඩොලර් මිලියන 4.7ක ශුද්ධ ගෙවීමක් වාර්තා විය.
2026 වසරේ සැප්තැම්බර් මස අවසානය වන විට, චීන මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව, දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 6.9ක් විය.
2026 වසරේ ඔක්තෝබර් මස අවසානය දක්වා කාලය තුළ දී ශ්රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 6.8කින් අවප්රමාණය විය.








