ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව 2015 වසරේ තුන්වන කාර්තුවේ වාර්තා කරන ලද සියයට 5.6ක වර්ධනයට සාපේක්ෂ ව 2016 වසරේ තුන්වන කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.1කින් වර්ධනය වී ඇත. 2016 වසරේ තුන්වන කාර්තුව තුළ දී සේවා ආශ්රිත ක්‍රියාකාරකම් සියයට 4.7කින් වර්ධනය වී ඇති අතර කර්මාන්ත ආශ්රිත ක්‍රියාකාරකම් සියයට 6.8කින් සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. කෙ සේ වෙතත්, මෙම කාලසීමාව තුළ පැවැති අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් අඛණ්ඩ ව දෙවන වතාවටත් පහළ යෑමක් පෙන්නුම් කරමින් කෘෂිකර්මාන්ත ආශ්රිත ක්‍රියාකාරකම් වසරේ තුන්වන කාර්තුව තුළ දී සියයට 1.9කින් සංකෝචනය විය. අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා පැවැතිය ද, ප්‍රධාන ආර්ථික දර්ශකවල යහපත් වර්ධනය මෙන් ම, 2015 වසරේ අවසාන කාර්තුව තුළ පැවැති අඩු ආර්ථික වර්ධනයේ පදනම් බලපෑම හේතුවෙන් 2016 වසරේ අවසාන කාර්තුව තුළ දී ආර්ථික වර්ධනය වඩා ඉහළ අගයක් ගැනීමේ හැකියාවක් පවතී.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/07 = 100) අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත 2016 නොවැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 3.4 සිට 2016 දෙසැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ ගියේ ය. ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013 = 100) අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත 2016 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 5.0 හා සැසඳීමේ දී 2016 නොවැම්බර් මාසයේ දී සියයට 4.1ක් දක්වා අඩු විය. රජයේ බදු සංශෝධනවල බලපෑම පිළිබ්ඹු කරමින් 2016 නොවැම්බර් මාසයේ දී මූලික උද්ධමනය සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන මූලික උද්ධමනය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත 2016 නොවැම්බර් මාසයේ වාර්තා කළ සියයට 5.1 සිට 2016 දෙසැම්බර් මාසයේ දී සියයට 6.3 දක්වා ඉහළ ගිය අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන මූලික උද්ධමනය ද වාර්ෂික ලක්ෂ්යමය පදනම මත 2016 ඹක්තෝබර් මාසයේ වාර්තා කළ සියයට 5.7 සිට 2016 නොවැම්බර් මාසයේ දී සියයට 6.8ක් දක්වා ඉහළ ගියේ ය. මෙ වැනි තාවකාලික විචලනයන් සිදු වුව ද, ඉදිරි කාලයේ දී උද්ධමනය සාමාන්‍යයෙන් තවදුරටත් මැදි තනි අගයක මට්ටමේ පවතිනු ඇතැ යි අපේක්ෂා කෙරේ.
මුදල් අංශය සැලකූ විට, වාර්ෂික ලක්ෂ්යමය පදනම මත වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට සපයන ලද ණය ප්‍රමාණයේ වර්ධනය අපේක්ෂා කළ පරිදි අඩු වීමක් පෙන්නුම් කළ අතර එය පෙර මාසයේ වාර්තා වූ සියයට 25.6 හා සාපේක්ෂ ව 2016 ඔක්තෝබර් මාසයේ දී සියයට 22.0ක් විය. කෙ සේ නමුත්, 2016 ඔක්තෝබර් මාසයේ දී පෞද්ගලික අංශය සඳහා ලබා දුන් ණයෙහි ශුද්ධ වැඩි වීම රුපියල් බිලියන 79.0ක ඉහළ අගයක පැවැතිණ. මේ අතර, රාජ්‍ය අංශය විසින් වාණිජ බැංකුවලින් ලබා ගත් ණය ප්‍රමාණය 2016 ඔක්තෝබර් මාසයේ දී සුළු වශයෙන් ඉහළ ගියේ ය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්යමය පදනම මත පුළුල් මුදල් සැපයුමේ (M2b) වර්ධනය 2016 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ සියයට 18.4 සිට 2016 ඔක්තෝබර් මාසයේ දී සියයට 17.8ක් දක්වා අඩු විය. දේශීය මුදල් වෙළෙඳපොළ තුළ රුපියල් ද්‍රවශීලතාව 2016 දෙසැම්බර් මාසයේ දී යළි අතිරික්ත මට්ටමකට පත් වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් වැඩි වූ වෙළෙඳපොළ පොලී අනුපාතික 2016 දෙසැම්බර් මාසය තුළ දී පුළුල් වශයෙන් ස්ථාවර වීමක් දක්නට ලැබුණි.
විදේශීය අංශය සැලකූ විට, 2016 ඔක්තෝබර් මාසයේ දී ආනයන වියදමේ එක් අයිතමයක පමණක් සිදු වූ විශේෂ වැඩි වීමේ බලපෑම හේතුවෙන් වෙළෙඳ ගිණුමේ හිඟය සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. සංචාරක ඉපැයීම් මෙන් ම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ හිතකර ලෙස අඛණ්ඩ ව වර්ධනය විය. 2016 නොවැම්බර් මස අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් 5.6ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති අතර 2016 වසරේ මේ දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂ ව සියයට 3.6කින් අවප්‍රමාණය වී ඇත.
මෙම වර්ධනයන් සැලකිල්ලට ගනිමින් දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2016 දෙසැම්බර් 30 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.50 මට්ටමේ තවදුරටත් නො වෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය.
මුදල් ප්‍රතිපත්ති තීරණය - ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) - සියයට 7.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) - සියයට 8.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) - සියයට 7.50