ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 වසරේ මූල්‍ය සාක්ෂරතා මාසයේ ඇරඹුම සනිටුහන් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 ඔක්තෝබර් 08 වැනි දින රාජගිරියේ පිහිටි බැංකු විදු පියසේදී පැවැත්වෙන FinLit Expo – Colombo ප්‍රදර්ශනය සමඟ මූල්‍ය සාක්ෂරතා මාසය – 2026 (FinLit Month) ආරම්භ කෙරේ. දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන විවිධ ක්‍රියාකාරකම් රැසකින් සමන්විත මෙම ජාතික වැඩසටහන, මූල්‍ය දැනුම වර්ධනය කිරීම, වගකීම් සහගත මූල්‍ය හැසිරීම් ප්‍රවර්ධනය කිරීම සහ මූල්‍ය අන්තර්ගතභාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පැවැත්වේ. මෙම මූල්‍ය සාක්ෂරතා මාසය, ජාතික මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ උපායමාර්ගය (NFIS) යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකීය මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශයට අනුකූලව දියත් කෙරෙන පුළුල් ජාතික වැඩපිළිවෙළෙහි මූලිකාංගයකි.

2026 ඔක්තෝබර් 08 සහ 09 යන දෙදින පැවැත්වෙන “FinLit Expo - Colombo” ප්‍රදර්ශනය මෙම දීප ව්‍යාප්ත වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරයි. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන්, පාර්ශ්වකාර ආයතනවල සහයෝගය ඇතිව ක්‍රියාත්මක කෙරෙන බහුපාර්ශ්වීය ප්‍රයත්නයකි. විවිධ ආයතන සමඟ සම්බන්ධ වීමට, මූල්‍ය සේවා පිළිබඳ අවබෝධය පුළුල් කර ගැනීමට, තම මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට සහ මූල්‍ය වංචා වලින් ආරක්ෂා විය හැකි ආකාරය පිළිබඳ දැනුම්වත් වීමට මෙම ප්‍රදර්ශනය මඟින් මහජනතාවට අවස්ථාව සැලසේ.

එමෙන්ම, ශ්‍රී ලාංකිකයන්ට මූල්‍ය අධ්‍යාපනය ලබා දීම සහ මූල්‍ය දැනුම එදිනෙදා ජීවිතයේදී යොදා ගැනීමට ඔවුන්ව දිරිගැන්වීම සඳහා දිවයින පුරා වැඩසටහන් මාලාවක් දියත් කෙරේ. ප්‍රාදේශීය ජනතාව සමඟ සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙන ප්‍රාදේශීය “FinLit Expo” ප්‍රදර්ශන හයක් මෙන්ම පාර්ශ්වකාර ආයතන සමඟ එක්ව පවත්වනු ලබන දැනුම්වත් කිරීමේ ක්‍රියාකාරකම් ද මීට ඇතුළත් වේ. 

රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන පුළුල් මහජන දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක් මඟින් මෙම ප්‍රයත්නයන් තවදුරටත් ශක්තිමත් කෙරෙන අතර, එහි පණිවිඩ වඩාත් පුළුල් පිරිසක් වෙත ගෙන යනු ඇත. ඩිජිටල් මූල්‍ය සේවාවල වර්ධනය වන කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, ඩිජිටල් මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම් මෙන්ම QR කේත භාවිතයෙන් සිදු කරන ගෙවීම් සහ අනෙකුත් මාර්ගගත ගෙවීම් ක්‍රම ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් ද මෙම වැඩසටහනට ඇතුළත් වේ.

මූල්‍ය සාක්ෂරතා මාසය – 2026 හරහා, මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සහ ජනතාවට මනා අවබෝධයකින් යුතුව මූල්‍ය පද්ධතියට සහභාගී වීමට සහාය වීම සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම තවදුරටත් තහවුරු කරනු ඇත. මූල්‍ය සාක්ෂරතා මාසයේ වැඩසටහන්වලට සක්‍රියව සහභාගී වෙමින් “මූල්‍ය සාක්ෂරතාවයෙන්  පිරිපුන් ශ්‍රී ලංකාවක් කරා” ළඟා වීම වෙනුවෙන් වන ජාතික මෙහෙයුමට එක්වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට සහ පාර්ශ්වකාර ආයතනවලට ආරාධනා කරයි.

PDF

 

Published Date: 

Thursday, October 8, 2026