කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2026 ජුනි මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දේශීය බලශක්ති මිල ගණන් අඛණ්ඩව ඉහළ දැමීමේ බලපෑම පිළිබිඹු කරමින්, 2026 ජුනි මාසයේ දී, අපේක්ෂා කළ පරිදි තවදුරටත් ඉහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2026 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 5.5ට සාපේක්ෂව 2026 ජුනි මාසයේ දී සියයට 6.8ක් ලෙස වාර්තා විය.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන උද්ධමනය 2026 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 7.8හි සිට 2026 ජුනි මාසයේ දී සියයට 8.4 දක්වා ඉහළ ගිය අතර, එය මතුපිට උද්ධමනය ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර උද්ධමනය ද 2026 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 0.9හි සිට 2026 ජුනි මාසයේ දී සියයට 3.6 දක්වා ඉහළ ගියේය.

2026 ජුනි මාසයේ දී කො.පා.මි.ද. මාසික පදනම මත සියයට 2.1කින් ඉහළ ගියේය. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් මාළු සහ එළවලු මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආහාර කාණ්ඩය ප්‍රතිශතාංක 1.4කින් දායක වූ අතර, ඒ සඳහා ආහාර නොවන කාණ්ඩය ප්‍රතිශතාංක 0.7කින් දායක විය.

මේ අතර, මූලික උද්ධමනය 2026 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 3.9හි සිට 2026 ජුනි මාසයේ දී සියයට 4.0ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සුළු වශයෙන් ඉහළ ගියේය. 

2026 වසරේ දෙවන කාර්තුව සඳහා වාර්තා වූ කාර්තුමය සාමාන්‍ය මතුපිට උද්ධමනය, මහ බැංකුවේ මෑතකාලීන උද්ධමන පුරෝකථන සමඟ බොහෝ දුරට අනුකූල වේ. පැවති තොරතුරු සහ උපකල්පන මත පදනම්ව, 2026 වසරේ මැයි මාසයේ මුදල් ප්‍රතිපත්ති වාරයේ දී සිදු කළ උද්ධමන පුරෝකථන මගින් මතුපිට උද්ධමනය ඉදිරි කාලයේ දී සියයට 5ක ඉලක්කගත මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි පෙන්නුම් කෙරෙන අතර, ඉන් අනතුරුව සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, මැදි කාලීනව යම් පහළ යෑමක් වාර්තා කරමින් එය උද්ධමන ඉලක්කය වටා ස්ථායී වනු  ඇතැයි පෙන්නුම් කෙරේ. කෙසේ වුවද, මැද‍පෙරදිග ගැටුම්කාරී තත්ත්වයේ නිරන්තර වෙනස්වන ස්වභාවය සහ ගෝලීය මෙන්ම දේශීය ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි එමගින් ඇතිවන පුළුල් වක්‍ර බලපෑම් මධ්‍යයේ, දේශීය උද්ධමන ඉදිරි දැක්ම සඳහා ඉහළ අවිනිශ්චිතතා පවතී.

PDF

Published Date: 

Tuesday, June 30, 2026