කසාගල ග්‍රීන් ප්ලාන්ටේශන් (පුද්ගලික) සමාගම: 2026.06.08 වන දින ස්වාධීන රූපවානිහී සේවයේ විකාශය වූ “පිනි වියන” වැඩසටහනේ දී සිදු කළ ප්‍රකාශය

කසාගල ග්‍රීන් ප්ලාන්ටේශන් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ, මල්වත්තගේ රංජිත් නන්දන පීරිස් මහතා 2026.06.08 වන දින, ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) “පිනි වියන” රූපවාහිනී වැඩසටහනට එක් වෙමින් ප්‍රකාශ කර ඇති පහත කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. 

(i)කසාගල ග්‍රීන් ප්ලාන්ටේශන් (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය වන ආයතනයකි, 

(ii)කසාගල ග්‍රීන් ප්ලාන්ටේශන් (පුද්ගලික)  ශ්‍රී ලංකා මහ බැංකුවේ අවශ්‍යතාව පරිදි සෑම මාස හයකට (6කට) වරක්ම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු/ලිපි ලේඛන/දත්ත ඉදිරිපත් කරයි, සහ

(iii)යම් ගැටලුවක් පවතී නම්, ශ්‍රී ලංකා මහ බැංකුව කසාගල ග්‍රීන් ප්ලාන්ටේශන්පුද්ගලික සමාගමෙන් ඒ පිළිබඳව විමසීමක් කරනු ඇත.

පීරිස් මහතා විසින් 2026.06.08 වන දින ස්වාධීන රූපවාහිනී සේවයේ “පිනි වියන” රූපවාහිනී වැඩසටහනේ දී සිදු කරන ලද ඉහත ප්‍රකාශය ශ්‍රී  ලංකා මහ බැංකුව විසින් නිල වශයෙන් සහ තරයේ ප්‍රතික්ෂේප කරනු ලබයි. තව ද, එය අසත්‍ය, නොමග යවන සුළු සහ නෛතික පදනමක් රහිත ප්‍රකාශයක් බව මහ බැංකුව විසින් මහජනතාව වෙත මෙයින් දන්වා සිටිනු ලැබේ.  

පීරිස් මහතා විසින් සිදු කරන ලද ඉහත ප්‍රකාශ, පෙර සඳහන් කරන ලද රූපවාහිනී වැඩසටහන විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ නැරඹූ මහජනතාවට බරපතල හානියක් සිදු කළ හැකි බව නිරීක්ෂණය කර ඇත. එබැවින්, කසාගල ග්‍රීන් ප්ලාන්ටේශන් (පුද්ගලික) සමාගම, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 2 වැනි වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරමින් මුදල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබේද නැතහොත් පවත්වාගෙන යමින් සිටින්නේද, හෝ මහජනතාවගෙන් තැන්පතු ලබාගෙන තිබේද නැතහොත් ලබාගනිමින් සිටින්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ විමර්ශනයක් පවත්වමින් සිටින බව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

PDF

Published Date: 

Friday, June 12, 2026