ශ්‍රී ලංකා මහ බැංකුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය සිදුකරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 ජුනි 05 සහ 06 යන දිනවල ත්‍රිකුණාමලයේදී ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වීමට නියමිතය. මෙම වැඩසටහන රජයේ නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් ක්‍රම පිළිබඳව ඇති දැනුම්වත්භාවය ඉහල නැංවීමේ අරමුණ ඇතිව සිදුකරනු ලබයි. බැංකු, මූල්‍ය සමාගම් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් උදෑසන 9 සිට සවස 6 දක්වා ත්‍රිකුණාමලය මධ්‍යම බස් නැවතුම්පොළ අසල රථගාලේ දී මෙම වැඩසටහන පැවැත්වේ.

මෙම ප්‍රවර්ධන වැඩසටහන, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහයෝගය සහිතව ‘ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු’ යන තේමාව යටතේ දියත් කරන ලද ජාතික වැඩසටහනේ මීලඟ අදියරයි. මීට පෙර, හම්බන්තොට, නුවරඑළිය, දඹුල්ල සහ කුරුණෑගල ප්‍රදේශවල ද මෙවැනිම ප්‍රවර්ධන වැඩසටහන් සාර්ථකව පවත්වන ලද අතර එමඟින් ශ්‍රී ලාංකිකයින් අතර පුළුල් දැනුම්වත්භාවයක් ඇති කරමින් ව්‍යාපාරවලට සහ මහජනතාවට ඩිජිටල් ගෙවීම්වල පහසුව සහ ප්‍රතිලාභ අත්විඳීමට පහසුකම් සලසන ලදී.

මෙම වැඩසටහන මගින් මහජනතාවට පුළුල් පරාසයක පවතින ඩිජිටල් ගෙවීම් සේවා සඳහා ලියාපදිංචි වී එම සේවා ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා අවශ්‍යවන සහය බැංකු, මූල්‍ය සමාගම් සහ විද්‍යුත් මුදල් සේවා සපයන්නන් ඇතුළු මූල්‍ය ආයතනවලින් මෙන්ම LANKAQR ගෙවීම් ක්‍රමවේදය ඇතුලු ඩිජිටල් ගෙවීම් පද්ධති සහ ක්‍රමවේද ක්‍රියාත්මක කරනු ලබන ලංකාපේ (පුද්.) සමාගම වෙතින් ද ලබා ගැනීමට හැකි වනු ඇත. මෙම වැඩසටහනට සහභාගිවන්නන් හට වැඩසටහන් පරිශ්‍රය තුළ පිහිටා ඇති වෙළඳ කුටිවලින් වට්ටම් සහිත මිල ගණන් යටතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට සහ ඒ හරහා ඩිජිටල් ගෙවීම්වල පහසුව ප්‍රායෝගිකව අත්විඳීමට ද අවස්ථාව ලැබේ. මීට අමතරව, ව්‍යාපාරික ආයතන වලට LANKAQR ගෙවීම් අත්පත් කරගැනීමේ පහසුකම ලබා දීම සඳහා මූල්‍ය ආයතන විසින් ත්‍රිකුණාමලය නාගරික ප්‍රදේශයේ විශේෂ වැඩපිලිවෙලක් ද පවත්වනු ඇත.

මූල්‍ය ආයතන විසින් සපයනු ලබන මග පෙන්වීම සහ සහාය තුලින් ඩිජිටල් ගෙවීම්වල ඇති පහසුව පිළිබඳව සිය දැනුම්වත්භාවය ඉහල නංවා ගැනීම සඳහා මෙම වැඩසටහන සමග සම්බන්ධ වන ලෙස ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මහජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට ශ්‍රී ලංකා මහ බැංකුව ආරාධනා කරයි.

PDF

Published Date: 

Tuesday, June 2, 2026