ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2026 අප්‍රේල්

2026 අප්‍රේල් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල පහළ යෑමක් පෙන්නුම් කරයි.

පෙර වසර වල දී ද පැවති රටාවට අනුගත වෙමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 42.6ක් දක්වා පහළ ගියේය.

සාමාන්‍යයෙන් ඉහළ දර්ශක අගයක් වාර්තා කරනු ලබන මාර්තු මාසයට සාපේක්ෂව සැලකීමේ දී, නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්ති සහ තොග මිලදී ගැනුම් උප දර්ශක පහළ යෑමෙහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත දර්ශකය පහළ ගියේය.

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ට අනුව, විශේෂයෙන් ආහාර පාන නිෂ්පාදන සහ රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන යන අංශවල උත්සව සමයේ ඉල්ලුම ක්‍රමිකව පහළ යෑම, නව ඇණවුම් උප දර්ශකයේ පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය. සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය තුළ බොහෝ නිෂ්පාදන ආයතන වසා තැබීම හේතුවෙන් අප්‍රේල් මාසයේ වැඩ කරන දින ගණන අඩු වීම නිෂ්පාදන උප දර්ශකයේ පහළ යෑමට බොහෝ දුරට හේතු විය. පෙර වසරවල පැවති රටාවට අනුව උත්සව සමයේ කටයුතු සඳහා පැවති ඉහළ ශ්‍රම ඉල්ලුම අවසන් වීමෙන් පසු නිෂ්පාදකයින් තාවකාලික බඳවා ගැනීම් අඩු කිරීමත් සමඟ සේවා නියුක්ති උප දර්ශකය පහළ ගියේය. නව ඇණවුම් සහ නිෂ්පාදනයේ පහළ යෑම සමග තොග මිලදී ගැනීම් උප දර්ශකය ද පහළ ගියේය. මේ අතර, උත්සව සමයේ පැවති බාධා සහ මැද පෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ඇතිවූ සැපයුම් බාධාවන් හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය තවදුරටත් වැඩි විය.

ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන කටයුතු සඳහා වන අපේක්ෂා ඉහළ යෑමක් පෙන්නුම් කළ ද, මැද පෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් පවතින අවදානම් පිළිබඳව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු සිය අවධානය යොමුකර තිබුණි.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2026 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 46.7 ක අගයක් වාර්තා කළ අතර, උත්සව සමයෙන් පසු ඇති වූ සෘතුමය බලපෑම් සහ බලශක්ති මිල ඉහළ යෑම, සේවා ක්‍රියාකාරකම්වල සංකෝචනය සදහා ප්‍රධාන වශයෙන් හේතු විය.

ඉන්ධන මිල ඉහළ යෑම, උත්සව සමයේ පැවති නිවාඩු දින, සහ සංචාරක පැමිණීම් මන්දගාමී වීම, මෙම මාසයේ බොහෝ අංශවල ව්‍යාපාරික කටයුතු පහළ යෑමට බලපෑවේය. භාණ්ඩ ප්‍රවාහනය සහ අනෙකුත් පෞද්ගලික සේවා ක්‍රියාකාරකම් යන උප-අංශවල තියුණු සංකෝචනයක් වාර්තා වූ අතර, රක්ෂණ, තොග සහ සිල්ලර වෙළඳාම මෙන්ම නවාතැන් හා ආහාරපාන සේවා කටයුතුවල ද සැලකිය යුතු පසුබෑමක් වාර්තා විය.

භාණ්ඩ ප්‍රවාහනය, රක්ෂණ, තොග සහ සිල්ලර වෙළඳාම මෙන්ම නවාතැන් හා ආහාරපාන සැපයීමේ කටයුතුවල දක්නට ලැබුණු පසුබෑමත් සමඟ, 2023 අප්‍රේල් මාසයෙන් පසු ප්‍රථම වරට 2026 අප්‍රේල් මාසයේ දී නව ව්‍යාපාරවල පහළ යෑමක් දක්නට ලැබුණි.

ඉදිරි කාර්තුව සඳහා ව්‍යාපාරික අපේක්ෂාවන් ධනාත්මක මට්ටමක පවතින අතර, එය පවතින බාධාවන් සහ ගැටුම් අවසන් වී ව්‍යාපාරික කටයුතු ස්ථාවර වනු ඇතැයි යන විශ්වාසය මත රඳා පවතී. කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින භූ-දේශපාලනික නොසන්සුන්තාව සහ පුළුල් ගෝලීය අවිනිශ්චිතතාවයන් හේතුවෙන් මෙම ඉදිරි දැක්ම විවිධ අවදානම්වලට යටත් විය හැක.

PDF

 

Published Date: 

Friday, May 15, 2026