2026 මාර්තු මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
උත්සව සමයේ ඉහළ ඉල්ලුමත් සමග නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම් ඉහළ යෑම හේතුවෙන්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 මාර්තු මාසයේ දී දර්ශකාංක 66.7ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය සහ ඉන්ධන හිඟය, ඉහළ යන නිෂ්පාදන පිරිවැය සහ සැපයුම් සීමාවන් හේතුවෙන්, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින් සීමාකාරී නිෂ්පාදන වාතාවරණයක් පිළිබඳව වාර්තා කරන ලදී.
විශේෂයෙන්, ආහාර පාන සහ රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශ තුළ, නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක වර්ධනය විය. නිෂ්පාදන ඉල්ලුම වැඩිවීමට අනුකූලව තොග මිලදී ගැනීම් උප දර්ශකය ද වර්ධනය විය. තවද, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඇති විය හැකි බාධාවන්ගෙන් තම නිෂ්පාදන ක්‍රියාවලීන් ආරක්ෂා කර ගැනීම සඳහා අමතර තොග රැස්කිරීම් ඇතැම් නිෂ්පාදන ආයතන වාර්තා කළේය. මාර්තු මාසයේදී සේවා නියුක්ති දර්ශකය සාපේක්ෂව අඩු වේගයකින් වර්ධනය විය. මේ අතර, විශේෂයෙන්, ඉල්ලුම ඉහළ යෑම සහ නාවික ප්‍රවාහනය ආශ්රිත බාධා හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය තවදුරටත් දීර්ඝ විය.
ඉදිරි කාර්තුව තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා වන අපේක්ෂා කඩඉම් මට්ටමට වඩා ඉහළින් පැවතුනද, මැද පෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණයෙන් ඇතිවන අවිනිශ්චිතතා හේතුවෙන් එහි යම් අඩුවීමක් දක්නට ලැබුණි.
සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 මාර්තු මාසයේ දී දර්ශකාංක 59.4ක අගයක් වාර්තා කළේය.
ව්‍යාපාර ක්‍රියාකාරකම්වල සිදු වූ මෙම වර්ධනයට බොහෝ අංශවල දක්නට ලැබුණු වැඩිදියුණු වීම් හේතු විය. මෙහිදී එ සදහා ප්‍රධාන වශයෙන් මූල්‍ය සේවා අංශයෙහි ණය ලබා දීමේ ක්‍රියාකාරකම් ඉහළ යාම හේතුවෙන් සිදු වූ වර්ධනය ප්‍රධාන විය. මීට අමතරව, උත්සව සමයේ ඉල්ලුම හේතුවෙන් තොග සහ සිල්ලර වෙළඳාම ආශ්රිත ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල වර්ධනයක් දක්නට ලැබුණු අතර, වෘත්තීය සේවා සහ අනෙකුත් පෞද්ගලික සේවා ක්‍රියාකාරකම් ද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය.
මූල්‍ය සේවා අංශයේ ප්‍රධාන දායකත්වයෙන් 2026 මාර්තු මාසයේ දී නව ව්‍යාපාරවල ඉහළ යෑම තවදුරටත් පැවති අතර, රක්ෂණ සහ විශ්‍රාම වැටුප් අරමුදල් ක්‍රියාකාරකම් වල දක්නට ලැබුණු සැලකිය යුතු වර්ධනය ද ඒ සඳහා උපකාරී විය.
එළඹෙන උත්සව සමයත් සමග ඉහළ යන පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි ආයතන විසින් සිය ශ්‍රම බලකාය පුළුල් කිරීම හේතුවෙන්, 2026 මාර්තු මාසයේදී සේවා නියුක්තිය තවදුරටත් ඉහළ ගියේය. නිම කිරීමට නියමිත කාර්යයන් අඛණ්ඩව පහළ ගියද, එම පහළ යාමේ වේගය මාසය තුළ දී මන්දගාමී විය.
ඉදිරි කාර්තුව සඳහා ව්‍යාපාරික කටයුතු පිළිබඳ අපේක්ෂාවන් ශක්තිමත් මට්ටමක පවතින අතර, සෘතුමය ඉල්ලුම සහ වර්තමාන භූ-දේශපාලනික අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ ඇති විය හැකි නව අවස්ථා ඒ සදහා පිටුවහලක් වී ඇත. කෙසේ වෙතත්, මැද පෙරදිග ගැටුම්වල බලපෑම සහ පුළුල් ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවය ඇතුළුව, ඉදිරි දැක්ම කෙරෙහි ඇති විය හැකි අහිතකර අවදානම් පිළිබඳව ඇතැම් ආයතන විසින් අවධාරණය කරන ලදී.








