ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 ජූලි මස 05 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 11.00 සහ සියයට 12.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කළේය. අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වේගවත් නිර්-උද්ධමන ක්‍රියාවලිය සහ පාලනය වූ උද්ධමන අපේක්ෂා ඇතුළු ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මූල්‍ය වෙළඳපොළ පීඩන ලිහිල් කරන අතරම මැදි කාලීනව ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහ උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී කිරීමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 200කින් අඩු කිරීම සහ 2023 ජූනි මස මුලදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 250කින් අඩු කිරීම මෙන්ම රජයේ සුරැකුම්පත් සම්බන්ධයෙන් පැවති අවදානම් අධිමිල මෑතකදී විශාල ලෙස අඩුවීමත් සමඟ වෙළඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන් ණය පොලී අනුපාතික, ප්‍රමාණවත් ලෙස සහ වේගවත්ව අඩු වනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි. එම නිසා, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස ලිහිල් කිරීමේ ප්‍රතිලාභ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ලබා දෙන ලෙස බැංකු සහ මූල්‍ය අංශයෙන් ඉල්ලා සිටින අතර, එමගින් ඉදිරි කාලය තුළදී ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීමට සහාය වනු ඇත. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, July 6, 2023