2017 පෙබරවාරි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2017 වසරේ පෙබරවාරි මාසයේ දී වෙළෙඳ ගිණුමේ හිඟය පුළුල් වීම, සංචාරක ඉපැයීම් පහළ යෑම සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල මධ්‍යස්ථ වර්ධනය සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් මන්දගාමී ව පැවතුණි. අපනයන පහළ යෑම සහ ප්‍රධාන වශයෙන් ඉන්ධන සහ සහල් ආනයනය ඉහළ යෑම හේතුවෙන් සමස්ත ආනයන වියදම ඉහළ යෑම මධ්‍යයේ පෙබරවාරි මාසයේ දී වෙළෙඳ හිඟයේ සැලකිය යුතු පුළුල් වීමක් වාර්තා විය. පෙබරවාරි මාසය තුළ දී සංචාරක පැමිණීම් සුළු වශයෙන් අඩු වීමත් සමඟ සංචාරක ඉපැයීම් පහළ ගිය අතර, ධාවන පථය අළුත්වැඩියා කිරීමේ කටයුතු වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දිවා කාලයේ දී වසා තැබීම ඒ සඳහා යම් තරමකට හේතු විය. පෙබරවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්හි වර්ධනය අපේක්ෂිත මට්ටමට වඩා අඩු මට්ටමක පැවතුණි. තව ද, මෙම මාසය තුළ දී රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් සැලකිය යුතු ගෙවීම් වාර්තා වීම මූල්‍ය ගිණුම වෙත අහිතකර බලපෑමක් ඇති කළේ ය. කෙසේ වෙතත්, මාසය තුළ දී ප්‍රාථමික හා ද්වීතියික වෙළෙඳපොළ වෙත වූ ලැබීම් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි යම් විදේශීය ආයෝජන ප්‍රමාණයක් වාර්තා විය. 

එනමුදු, විදේශීය අංශය වෙත වූ පීඩනය 2017 පෙබරවාරි මාසයට පසු කාලපරිච්ඡේදය තුළ සිදු වූ අපනයන ක්‍රියාකාරිත්වයෙහි වැඩිදියුණු වීම, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ ආයෝජන සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ ලැබීම් මෙන් ම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව සහ එක්සත් ජනපද ඩොලර් මිලියන 450 ක ඒකාබද්ධ ණය මුදල තුළින් යම් තරමකට ලිහිල් විය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, May 25, 2017