කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය, 2023 අගෝස්තු මාසයේ දී තවදුරටත් පහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජූලි මාසයේ වාර්තා වූ සියයට 6.3හි සිට 2023 අගෝස්තු මාසයේ දී සියයට 4.0 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

අඛණ්ඩව දෙවන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර අවධමනයක් වාර්තා වූ අතර, එය 2023 ජූලි මාසයේ පැවති සියයට 1.4ට සාපේක්ෂව 2023 අගෝස්තු මාසයේ දී සියයට 4.8ක් විය. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2023 ජූලි මාසයේ පැවති සියයට 10.5හි සිට 2023 අගෝස්තු මාසයේ දී සියයට 8.7 දක්වා තවදුරටත් පහළ ගියේය. ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට -0.41ක මිල පහළ යෑමේ සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.39ක මිල ඉහළ යෑමේ ඒකාබද්ධ බලපෑම හේතුවෙන් 2023 අගෝස්තු මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස සියයට -0.02ක් ලෙස වාර්තා විය. තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 ජූලි මාසයේ පැවති සියයට 5.9හි* සිට 2023 අගෝස්තු මාසයේ දී සියයට 4.6 දක්වා පහළ ගියේය.

මෙතෙක් ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂාවල ප්‍රතිඵලයක් ලෙස, උද්ධමනය මැදි කාලීනව මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, August 31, 2023