ආචාර්ය සී. අමරසේකර

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති

ආචාර්ය අමරසේකර මහතා වසර 23කට වැඩි කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර ඇත. ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස පත් වීමට ප්‍රථම, ආචාර්ය අමරසේකර මහතා නියෝජ්‍ය අධිපති සහ සහකාර අධිපති තනතුරු දැරීය. එමෙන් ම ඔහු මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ලේකම් ලෙස ද කටයුතු කළේය.

2022 ජනවාරි - 2024 පෙබරවාරි දක්වා ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ හි ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය යන රටවල් සඳහා විකල්ප අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමට මහ බැංකු සේවයෙන් මුදා හැර සිටියේය. ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වීමට පෙර ආචාර්ය අමරසේකර මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

ආචාර්ය අමරසේකර මහතා මේ වනවිට ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සභාපතිවරයා වන අතර රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ද වේ. මීට පෙර ඔහු ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත. එමෙන් ම ඔහු අග්නිදිග ආසියානු මහ බැංකු කේන්ද්‍රයේ විධායක කමිටුවේ සාමාජිකයෙකු ද වේ.

ආචාර්ය අමරසේකර මහතා මුදල් ප්‍රතිපත්ති සහ සාර්ව ආර්ථික පර්යේෂණ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ලබා ඇත. එමෙන් ම මුදල් ප්‍රතිපත්ති සහ අනෙකුත් මහ බැංකු විෂයන් පිළිබඳ ව ආචාර්ය අමරසේකර මහතාගේ පර්යේෂණ පත්‍රිකා විවිධ ජාත්‍යන්තර සහ දේශීය පර්යේෂණ සඟරාවල පළ වී ඇති අතර, ඒවා පුළුල් පිළිගැනීමකට සහ බොහෝ පර්යේෂක උපුටා ගැනීම්වලට ලක් ව ඇත. එමෙන්ම, ඔහු 2015-2020 කාලයේ දී මහ බැංකුවේ පර්යේෂණ සඟරාව වන මාණ්ඩලික පත්‍රිකා මාලාවේ සංස්කාරක ලෙස ද කටයුතු කළේය. ඔහු විවිධ විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය, බැංකු විදු පියෙස සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය ඇතුළු ව විවිධ අධ්‍යයන හා වෘත්තීය ආයතනවල ආරාධිත කථිකාචාර්යවරයෙකු, විභාග පරීක්ෂකවරයෙකු සහ ප්‍රශ්න විචාරකයෙකු ලෙස ස්වේච්ඡාවෙන් සේවය කර ඇත. 

එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත්, එම විශ්වවිද්‍යාලයෙන් ම විශිෂ්ට සාමාර්ථයක් සහිත ව ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබා ගෙන ඇති ආචාර්ය අමරසේකර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ සාමාර්ථයක් සහිත ව ගෞරව උපාධිය ලබා ඇත. එමෙන් ම ඔහු නීතීඥවරයෙකු ද වේ.